
සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ කුරුඳු ඉඩමක දමා ගොස් තිබියදී පොලීසිය විසින් ඊයේ (12) දින පෙරවරුවේ සොයාගෙන තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මරණ යාබද කුඹුරකදී සිදුවී ඇති අතර, පසුව සිරුරු මෙලෙස කුරුඳු ඉඩමට ගෙනැවිත් දමා ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, ඌරගස්මංහන්දිය, අටේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉලන්දාරිදේව චතුරංග විජේසේකර (39) සහ කැරෑකැටියවත්ත ප්‍රදේශයේ පදිංචි ඊශ්වාචාරිගේ නාලක පුෂ්පකුමාර (44) යන දෙදෙනාය. ඔවුන්ගේ අනන්‍යතාව මව සහ බිරිඳ විසින් තහවුරු කර ඇත.
පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම දෙදෙනා මියගොස් ඇත්තේ කුරුඳු ඉඩමට යාබදව පිහිටි කුඹුරු ඉඩමක, සතුන් දඩයම් කිරීමේ අරමුණින් ඇද තිබූ නීති විරෝධී විදුලි රැහැනක සැර වැදීමෙනි. සිද්ධියෙන් පසු, වරද සැඟවීම සඳහා කිසියම් පිරිසක් විසින් මෘතදේහ දෙක යාබද කුරුඳු වත්තට ඇද දමා ගොස් ඇති බවට පොලීසිය සැක කරයි. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
මරණ සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මූලික පරීක්ෂණයක් පවත්වා ඇති අතර, පසුව ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණයක්ද පවත්වන ලදී.
මහේස්ත්‍රාත් නියෝගය පරිදි, මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) දින ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
Comments
Post a Comment
Your comment will be visible after approval